Monday, June 15, 2009

මර්වින්ගේ වීරක‍්‍රියා (කැළණිය විශ්ව විද්‍යාලයේ වික‍්‍රමාන්විතය)

මර්වින් සිල්වා විසින් රටේ ජනතාවට නොමිලේ දෙන ආතල් වල අලූත්ම ආතල් එක මීට දින දෙක තුනකට පෙර කැළණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී මාධ්‍ය වෙත නිකුත් කරන ලදි. සරසවි සිසුන් සහ අදාල ගම් ප‍්‍රදේශයේ වැසියන් අතර ඇතිවූ ගැටුමකදී රටේ කම්කරු අමාත්‍ය වරයා වන (ආචාර්‍ය යැයි කියාගන්නා) මර්වින් සිල්වා මෙයට මැදිහ ත් විය. අමාත්‍ය වරයා පමණක් නොව කැළණිය බෞද්ධ පුරපරයේ අහිංසක ළමයින් ටිකද පොලූ මුගුරු රැගෙන එතුමා වටේ සිට වචනයෙන් වචනයට විසිල් පිට විසිල් ගැසූහ.අප හැමෝම මේ පාර්ශයන් සියල්ලේම චර්‍යාව දැක ගත්තෙමු. නමුත් අප උත්සහ ගත යුත්තේ මේ පාර්ශවයන් එකිනෙකෙහි අවශ්‍යතාවය නිශ්චය කර ගැනීමටය.

1 විශ්ව විද්‍යාල සිසුන් -

- විභාගය ඉතා ආසන්නව ඇති බැවින් කෙසේ හෝ විශ්ව විද්‍යාලය වසා ගැනීම.
- තම පෙම්වතින්ට හෝ මිතුරියන්ට අනිසි බලපෑම් කරන ගමේ කොල්ලන්ගෙන් වාඩුව ගැනීම.
- එකම වයසේ තරුණ පිරිසක් සිටින බවින් ගැටුම් වලට යෑම හරහා පෞර්ෂය වර්ධනය කරගැනීමට උත්සහ ගැනීම.

2 ගම් වැසියන් (විශේෂයෙන් තරුණයන්)

- තම ගමට පිටින් විත් රඟන පොඩි කොල්ලන්ට පාඩමක් ඉගැන්වීම.
- තමන්ට ලබා ගැනීමට නොහැකි වූ උසස් අධ්‍යාපනයක් සිසුන් ලැබීම නිසා හටගත් ඉරිසියා පියවා ගැනීම.
- විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් එම ශිෂ්‍යයන් සමග අනන්ත නැටුම් නැටුවද තමන්ව තුට්ටුවකටවත් මායිම් නොකිරීමේ තරහ පියවා ගැනීම.

3 මහා ශිෂ්‍ය සංගමය

- ආණ්ඩුවේ අස්ථාවරභාවයක් මවා පෙන්වීමේ අවශ්‍යතාවය- මර්වින් සිල්වා සමග පවත්නා තරහා පිටකරගැනීම
- මෙවැනි ගැටුමක් හරහා තම සිසුන්ගේ මොරාල් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය
- තම කලා උළෙලේ අසාර්ථකභාවය වසා ගැනීම.

4 පොලීසිය

- තමන්ට නොසෑහෙන්නට පහර දුන් සිසුන්ට කවුරුන් ලවා හෝ ගැස්සවීම.
- තමා වෙතට නැවතත් නඩු නොවැටීමට වග බලා ගැනීම.

5 ආචාර්‍ය මර්වින් සිල්වා

- ලැයිස්තුවෙන් මේ වන විටත් කැපී ඇති බැවින් කැළණියේ ජනතාවට කඬේ ගොස් හෝ ඡන්දය ලබා ගැනීම.
- ටික දිනකින් ප‍්‍රවෘත්ති වල තම නම කියවා ගැනීමට නොහැකි වූ බැවින් වීරක‍්‍රියාවක් කිරීම.

මෙය පැහැදිලිවම සිසුන් සහ ගමේ තරුණයන් අතර ඇතිවූ ගැටුමක් වුවද මෙය විවිධ පාර්ශව විවිධ ලෙස භාවිතයට ගැනීම පිළිබඳව නම් පවතින්නේ තරහව මුසු දුකකි. ගමේ තරුණ පිරිස සහ සිසුන් අතර ගැටුමක් ඇති වීමට බොහෝ කරුණු තිබිය හැකිය. ඒ දෙපාර්ශවයම සම වයසේ පසුවන්නන්ය. එබැවින් එය වෙනමම මනෝ පාරිසරික තත්වයන් සමග ගෙන විශ්ලේෂණය කළ යුත්තකි. (මනෝවිද්‍යාව පාඨමාලා රටට විකුණමින් මිලියන ගනන් හූරාගන්නා කතිකාචාර්‍ය වරුන්ට එ් පිළිබඳව හිතන්නටවත් වෙලාවක් නැති නිසා ඒවා පරිපාලන ක‍්‍රියාමාර්ග මත යාන්ත‍්‍රිකව විසඳන්නට යෑම මත මේ සෑම දෙයකටම පාර කැපී ඇත්තේය)

ඇත්ත වශයෙන්ම මෙය මර්වින් සිල්වාගේ වැඩක් යැයි කියන්නට තරම් මහා ශිෂ්‍ය සංගමය අවස්ථාවාදී වුවද ඔහු මෙතනට සම්බන්ධ වන්නේ ගැටුම යන අතර තුර ඔහුගේ ආධාර කරුවෙකුගේ කැබ් රථයකට එක් සිසුවෙක් හැප්පීම නිසා සිසුන් කළ පහර දීමෙන් පසුවය. නමුත් මේ පිළිබඳව කිසිම මාධ්‍යයක් හෙළි නොකළා සේම මහා ශිෂ්‍ය සංගමයද මර්වින් සිල්වාගේ හැසිරීම මත ඇතිවන වාසිදායක තත්වය තම මව් පක්ෂයට අත්කර දීමට මොහොතක්වත් පසුබට නොවන්නේය.

මර්වින් සිල්වා මෙයට සම්බන්ධ වන තැන සිටම පුරුදු නාගැනීමම කරයි. ඒ අනුව ගැටුම තරමක් උග‍්‍ර අතට හැරෙමින් පවතින මොහොතේ මේ ස්ථානයට අදාල ප‍්‍රදේශයේ පොලිස් අධිකාරිතුමන්ද සමග එන මොහු විසින් මාධ්‍යය අමතා කරන ප‍්‍රකාශය කෙතරම් අමනෝඥද යන්න සිතන්නටත් හිරිකතය. නමුත් මොහුගේ ඉතිහාසය සමග ගෙන බලන කළ මෙය එතරම්ම සිතිය යුතු දෙයක්ද නොවන්නේය. කෙසේ වුවද මෙහිදී ඇමතිවරයාට අමතකවී ගිය කරුණු කීපයක්ම තිබුණේය.

1 තමා වත්මන් රජයේ වගකිව යුතු අමාත්‍යයරයෙකු බව

රජයේ වගකිව යුතු අමාත්‍යයරයෙකුට කිසිම අයුරකින් නොහොඹිනා මැදිහත් වීමක් කරන මොහුට ගැටුමක් දුටු විට පුරුදු ගතිය පාලනය කරගැනීමට බැරිව ගියේය. අනෙක් අතට විශ්ව විද්‍යාලයේ මේ මොහොතේ විභාගයක් පැවැත්වුනේද නැත. විභාගය අවසන් වුණ ගමන් සිසුන් අත්අඩංගුවට ගන්න යැයි කීවද එසේ අත්අඩංගුවට ගන්නේ නම් පළමුව ගත යුත්තේ පොලූ මුගුරු රැගත් තම අහිංසක බෞද්ධ දරුවන් බව නොතේරෙන තරමටම එතුමා බබෙකි. එබැවින් රටේ පවත්නා නීති තත්වය මේ තරමටවත් නොතේරෙන බූරුවන් ව්‍යවස්ථාදායකය (නීති හදන තැන) තුල සිටිය යුතුද යන්නම අපගෙන් ප‍්‍රශ්ණ කරගත යුතු තැනක් වන්නේය.

2 තමාගේ දෙවියන් වන රජතුමන්ට සහය වූවන් කවුද යන වග

විශ්ව විද්‍යාල සිසුන් අතිබහුතරය ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන්ය. පැවති ජනධිපතිවරණ කාලයේ සන්ධාන එකඟතාව මත පුරුදු පරිදිම රතු අත්පත‍්‍රිකා වෙනුවට නිල් මිශ‍්‍ර අත්පත‍්‍රිකා ගෙන ගම් නියම් ගම් ගානේ කකුල ඉදිමෙන තුරු ඇවිද්දේ මේ සිසුන් නොවෙයිනම් අද සිටින දුමින්ද සිල්වලා වැනි අවස්ථාවාදී හොර බඩජාරීන්ද? ඔය දුමින්දලාගේ ඇඟවල් හැදුනේ මහින්දට වේදිකා ගසන්නට පොල්කොට ඇද්ද නිසා නොවේ. අහිංසක බෞද්ධ දැරියන් දුෂණය කිරීමෙන්ය. අනෙක් අතට ප‍්‍රභාකරන් උතුරේ ඡන්ද නැවැත්වූ නිසා 50,000 තරම් ඉතා සුළු ප‍්‍රමාණයකින් ජයගන්නා විට එහි තිබුණේ ජ.වි.පෙ ජන්ද ටික හා ඔවුන්ගේ මහන්සිය බවද එතුමාට මෙතරම් ඉක්මනින් අමතකව ඇත.

3 තම කැළණිය බෞද්ධ පුරවරයේ අහිංසක ජනතාව ජීවත් වන්නේ විශ්ව විද්‍යාල සිසුන්ට පින්සිද්ධ වන්නට යන වග

විශ්ව විද්‍යාලය අවට සියළුම ජනතාව ජීවත් වන්නේ බෝඩිම්, කෑම කඩවල්, කොමියුනිකේෂන්, අනෙකුත් ව්‍යාපාරයන් කරගෙනය. මේ සියල්ලම විශ්ව විද්‍යාල සිසුන් ඉලක්ක කරගත් ව්‍යාපාරයන්ය. මෙහිලා කිව හැකි හොඳම උදාහරණය නම් විශ්ව විද්‍යාලය වසා දමන කාල වල අදාල ප‍්‍රදේශයේ බොහෝ කඩවල්ද වසා දැමීමයි. එතරම්ම මේ ව්‍යාපාරයන් විශ්ව විද්‍යාලය සමග බැඳී පවතී. නමුත් මේ කරුණ සම්බන්ධව ඇමතිවරයාටම දොස් නැගිය නොහැකිය. මන්ද යත් තමන්ගේ බඩට තමන්ට තට්ටු කරගැනීමට තරම් ජනතාව අමනෝඥ වන විට ඇමතිවරයා මොනවා කරන්නද? (ඒ අනුව මේ ඇමතිවරයා නියමෙටම ගැලපෙන්නේ මේ ප‍්‍රදේශයටම බව ඇමතිවරයාටද පසක් වන්නට ඇත)

මේ දේවල් අමතකව ගිය ඇමතිවරයා තම අහිංසක බෞද්ධ ළමයින් ටිකද කැටුව විත් විශ්ව විද්‍යාලය ඉදිරිපිට අලූත්ම නාට්‍යයක් රඟපායි. මේ නාට්‍යය පිටුපස සැඟවුණ ප‍්‍රධානම හේතුව වන්නේ ජනධිපතිතුමාගේ අනතුරු ඇඟවීමයි. මීලඟ මහමැතිවරණයේ ලැයිස්තුවෙන් ගොඨාභය පාර්ලිමේන්තු ගැනීමට අවශ්‍ය නිසා මර්වින්ට අනතුරු අඟවා ඇත. වරක් කට වරද්දා ගත් මර්වින් ඒ බව මාධ්‍යය හමුවේම කියා සිටියේ ගෝඨාභව විරුවා වෙනුවෙන් ලැයිස්තුවේ තමාට හිමි අවස්ථාව පූජා කිරීමට කැමති බව කියමින්ය. ඒ අනුව ක‍්‍රියා කරන මර්වින් සිල්වා ලද අවස්ථාවෙන් ජනතාවගෙන් එක දමා ගැනීමට කටයුතු කරන ලදි. විශ්ව විද්‍යාල සිසුන් කොහොමත් ජ.වි.පෙ බව දන්නා ඔහු අනෙක් අතට දන්නවා මේ එකෙකුගේ ඡුන්දයක්වත් මේ ප‍්‍රදේශයට අදාල නැති බව. නමුත් මොහුගේ ක‍්‍රියාවෙන් අනාගතයේදී අනෙක් සන්ධාන මන්ත‍්‍රීවරුන්ගේ සහ ජනාධිපතිතුමාගේ පවා බෙල්ල ගැසී යෑමට නියමිත බව තවමත් කාටවත් වැටහී නැත.

කෙසේ වුවද ඇමතිතුමාගේ මැදිහත් වීමේ ක‍්‍රියාකාරීත්වය වෙනදා මෙන්ම උණු කැවුම් ලෙස මාධ්‍යය හරහා රටේ ජනතාවට මාකට් විය. මෙය දුටු ඉහළ අංශ මර්වින්ට බලපෑම් කරන්නට වූයේ සිදුව ඇති දෙය වසා දමන ලෙසය. එසේම මාධ්‍යයද මෙය නියමෙට වවාගෙන කන්නට ‘සිරස න්‍යය’ අත්හදා බලන්නට විය. ඒ අනුව ඇමතිවරයාට තම දුරටත් මේ ගැන කතාකරන්නට විය. දෙවරක්ම මාධ්‍යය තම ගෙදරට ගෙන්නාගත් ඇමතිවරයා පොඩි එකෙකු මෙන් බොරු ගොතන්නට පටන් ගත්තේය. තම ආධාකරුවන්ට උදව්වක් කරන්නට ගිය බව වසාදැමූ ඇමති මර්වින් කියා සිටියේ සිසුන් කඩවල් රැසකට අලාභ කළ බවකි. තවද ත‍්‍රීව්ල් රථ කීපයක් පුච්චා තිබූ බවද කී මොහු එක්කෝ ආධාරකරුවන්ගේ ලණුවක් කා ඇත. නැත්තම් තමා කළ අධිබලය යෙදීම සාධාරණීකරනය කරගන්නට උත්සහ ගන්නවා විය හැක. කෙසේ වුවද සිසුන් අතින් වූවායැයි කිවහැකි උපරිම අලාභව වූයේ මාර්ගය අසල වන කොමියුනිකේෂන් එකක ෙදාරේ වීදුරුවක් බිඳී තිබීම සහ ත‍්‍රීවිල් රථයක ඉදිරි පස වීදුරුව බිඳී තිබීම පමණක්මයි.

දැන් මේ මොහොත ගැන සිතා බලන විට ඇඳගත්තේ කවුද යන්න හොඳටම පෙනී යනු ඇත. සිසුන් ටික විභාගයද කල් දමා ගනිමින් නොමිලේම බස්රථ වල නැග ගෙදර ගියේය. නමුත් බෞද්ධ පුරවරයේ අහිංසක ළමයින් තම ව්‍යාපාර ඇණකරගෙන ගෙවල් වලට වී විවේක ගනිති. බෝඩිම් කරගෙන ගිය ළමයි මල් තෙල් රැගෙන පංසල් යති. පංසල් ගොස් සිසුන් ටික නැවත ගෙන්වා ගැනීමට භාර හාර වෙති. කෙසේ වුවද කන්න නැතත් ඔවුන් තවමත් කරදරයක් නැතිව සිටිති. නමුත් කොහේදෝ සිට විත් හිරිඇරගන්නට අසාර්ථක උත්සහයක් ගත් ඇමතිවරයා තවමත් මාධ්‍යකරුවන්ගේ ජනතාවගේ ඉදිරියේ සාක්ෂි දෙමින් දුක් විඳින්නේය.

මර්වින්ගේ වීරක‍්‍රියා 2 ලඟදීම බලාපොරොත්තු වන්න.